Sunday 11 November 2012

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් සතුව රසායනික අවි සහ මල්ටිබැරල්! - පොලිස්පති

සෝදිසි මෙහෙයුම්වලදී හමුවූ බන්ධනාගාරය තුළ සිරකරුවන් සතුව තිබූ මල්ටිබැරල් ‍රොකට් ලෝන්චර් වලින් එකක්. එස්ටීඑෆ් භටයන්ට පහරදීමට සිරකරුවෝ මේවා යොදාගත්හ.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක
බන්ධනාගාර වැසිකිළිවල තුල ගබඩා කර තිබූ ජීව රසායනික අවි තැනීමට යොදාගත් අමු ද්‍රව්‍ය පරික්ෂාකරමින්.



සිරකරුවන් සතුව තිබූ මල්ටි බැරල් රොකට් ලෝන්චරි සහ කාලතුවක්කු මෙන්ම රසායනික සහ ජීව විද්‍යාත්මක අවිද සොයා ගැනීමට යුදහමුදා කොමාන්ඩෝ භටයන් සමත් වූ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

වැලිකඩ බන්ධනාගාරයේ දී STF භටයන්ට පහරදීම සඳහා එහි  සිරකරුවන් විසින් භාවිතා කළ මල්ටිබැරල් රොකට් ලෝන්චර්  1125ක් ද T- 56 රයිෆල් 4221ක් ද  LMG තුවක්කු 3587ක්ද ග්‍රෙනේඩ් බෝම්බ 5987ක්ද ස්නයිෆර් රයිෆල 885ක් ද සොයාගැනීමට වැලිකඩ බන්ධනාගාරයේ ගැටුම පාලනය කිරීමෙන් පසුව, යුදහමුදා කොමාන්ඩෝ භටයන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සමත්ව ඇත. මීට අමතරව ගුවන් යානා නාශක  උණ්ඩ 3654ක්ද විවිධ වර්ගයේ ගිනි අවි වලට භාවිතා කරන ජීව උණ්ඩ 898523ක්ද හමු වී ඇත.
මෙහි දී සොයාගෙන ඇති රසායනික අවි සිරකරුවන් විසින් බන්ධනාගාරය තුලදීම නිෂ්පාදනය කර ඇතැයි සැළකෙන අතර ඒ සඳහා අමුද්‍රව්‍ය වශයෙන් භාවිතා කර ඇත්තේ බන්ධනාගාර වැසිකිළි තුළ ගබඩා කර තිබූ විශේෂ රසායානික සංයෝගයක් වන අතර ඒවා කුඩා පොලිතීන් මලුවල අසුරා තනාගත් රසායනික බෝම්බ විශේෂයකින් එස්ටී එෆ් භටයන්ට පහර දී ඇත. එස් ටී එ‍‍ෆ් අණදෙන නිලධාරියා සිහි විසඥව ඇත්තේ මෙම රසානික බෝම්බ වලට නිරාවරණය වීම හේතුකොටගෙනයි. මෙම බෝම්බ පුපුරායාමෙන් අධික දුර්ගන්ධයක් නිකුත්වන අතර අණදෙන නිලධාරියා ඇතුළත් කිරීමෙන් අනතුරුව රොහල් සංකීර්ණය පුරා මෙම දුර්ගන්ධය පැතිර ගිය බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. 
මෙම රසායනික බොම්බවල ඇතුළත් රසායනික ද්‍රවය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය අනාවරණය කරගැනීමට යුදහමුදා ජීව රසායන අවි විශේෂඥයන් සමත්ව ඇති බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි. ආහාර ද්‍රව්‍ය ලෙස සකසා  නිවෙස්වලින් ගෙනෙනා මෙම ද්‍රව්‍ය සිරකරුවන් විසින් මුඛය හරහා තම සිරුරට ඇතුල් කරගනු ලබන අතර පැය කීපයකට පසු රසායනික ප්‍රතික්‍රියා ගණනාවකින් පසුව ඒවා ශරීරයෙන් ඉවත්කර බන්ධනාගාර  වැසිකිළි වල තනා ඇති රහසිගත භුගත කුටීරවල ගබඩා කර නු ලැබේ අවශ්‍ය අවස්ථාවල මේවා ඉවතට ගෙන කුඩා පොලිතීන් මළුවල අසුරමින් ජීව විද්‍යාත්මක බෝම්බ නිෂ්පාදනය කර ඇත. තත්ත්වය පාලනය කිරීමෙන් පසුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාද බන්ධනාගාර වැසිකිළිවලවලට බැස  තිබූ මෙම රහසිගත ජීවිවිද්‍යාත්මක අවි කම්හල පරීක්ෂාකරනු ලැබීය.

සිරකරුවන් මරා දැමීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් උපදෙස් දුන්නේ නැහැ! - STF අණදෙන නිලධාරි

වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී එහි සිරකරුවන් සමග ගැටුමක් ඇති කරගනිමින් කිසියම් ඝාතන මාලාවක් ගැන දන්නා  සැකකරුවන් පිරිසක් මරා දැමීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමන්ට නියෝග දී ඇතැයි යනුවෙන් පැතිර යන කටකතාව  STF අණ දෙන නිලධාරි රණවන මහතා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. වැලිකඩ බන්ධනාගාර සිදුවීමේදී ඇති වූ ගැටුම්වලින් රණවන මහතා ට තුවාල සිදුවූ අතර ඒ මහතාගේ නිල ඇඳුමද සිරකරුවන් විසින් ගලවාගෙන ඇතැයි පොලිස් මූලස්ථානය වාර්තා කරයි. ඒ මහතාගේ නිල ඇඳුම සොයාගැනීමට උපකාරිවන නිවැරදි ඔත්තුවකට රු. 500ක මුදල් ත්‍යාගයක් පොලිස් දෙපාර්තුමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත.


බන්ධනාගාර ඇමතිට මරණිය තර්ජන

බන්ධනාගාර ඇමති


පසුගියදා වැලිකඩ බන්ධනාගාරයට  ඇතුළුවී පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටියේ තමා යැයි මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ලෙස   තමන්ට  ගෝඨාභය රාජපක්ෂ නැමැත්තෙකු විසින් මරණිය තර්ජන එල්ල කළේයැයි බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතා විසින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් කොට ඇත. මේ පිළිබඳව  පොලිස්පති ඉලංකෝන් ගෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ නමින් තමන් හඳුන්වාගන්නා උමතු පුද්ගලයෙකු මේ දිනවල බොහෝ අයට තර්ජනය කිරීම සාමාන්‍ය දෙයක් බවත් කෙසේවුවද අදාළ පැමිණිල්ල පිලිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බවත්ය.


වැලිකඩ සිදුවීම ඇරඹුණේ සිරකරුවන් ජීව විද්‍යත්මක බෝම්බවලින් එස්ටීඑ‍‍ෆ් භටයන්ට පහරදීමෙන් අනතුරුවයි.- පොලිස් මාධ්‍ය ප්‍රකාශක
පොලිස් මාධ්‍ය ප්‍රකාශක

වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීමට ගිය STF භටයන්ට සිරකරුවන් විසින් ජීව රසායන අවිවලින් පහරදීම හේතුවෙන් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි මහතා පවසයි. අතිශය දරුණු දුර්ගන්ධයක් හමන කහ සහ දුඹුරු පැහැති රසායනික සංයෝගයක් යොදා මෙම රසායනික බෝම්බ නිෂ්පාදනය කර ඇති බවද අදාළ අමුද්‍රව්‍ය බැහැරින් හෝ බන්ධනාගාර වැසිකිළි තුල රහසිගත ව නිෂ්පාදනය කොට ගබඩා කර ඇතැයිද  සැකයක් පවතින බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය. මෙම රසායනික බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූ එස්ටී එෆ් අණදෙන නිලධාරියාගේ තත්ත්වය දැන් යහපත් අතට හැරෙමින් පවතින බවත් එහෙත් ඔහුගෙන් නිකුත්වන අධික දුර්ගන්ධය හේතුවෙන් ඒ අසලට යාමට කිසිවෙකුටත් නොහැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකශකවරයා වැඩි දුරටත් පැවසීය.

සිරකරුවන් 40ක් අවි සහිතව පලා ගිය කතාව බොරු !

සිරකරුවන් 40 ක් උදුරාගත් අවිත් රැගෙන පලා ගියා යැයි පැතිර යන ආරංචිය අසත්‍යයක් බව පොලිස් මූලස්ථානය නිවේදනය කර සිටී. සිරකරුවන්  40 දෙනා අතුරුදන්වී නැති බවත් ඔවුහු තමන් උදුරාගත් අවි සඟවා ඇති තැන් ආරක්ෂක අංශ වෙත පෙන්වීම පිණිස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බවත් ඒ අනුව ඔවුන් පොලිසිය, යුද හමුදාව සහ විශේෂ කාර්ය බලකාය විසින් අදාළ තැන්වලට රැගෙන ගොස් ඇතිබවත් එම නිවේදනයේ සඳහන් වේ . එමෙන්ම ආයුධ පෙන්වීම සඳහා ඉදිරිපත්වීමට නියමිත සංඛ්‍යාව ඉදිරියේදී දෙගුණ විය හැකි බවත් එහි සඳහන්වේ.


බන්ධනාගාර වසා දැමිය යුතුයි.!-ආරක්ෂක ලේකම්
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සිනහමුසු මුහුණකින් යුතුව, තම අත්වල තැවරී ඇති
සිරකරුවන්ගේ ලේ සිය මිතුරන්ට  ප්‍රදර්ශනය කරන අයුරු


මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා " පොලිස් පුවත්" වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම සිදුවීමෙන් පෙනී යන්නේ මෙවැනි නාගරික ජනාකීර්ණ ප්‍රදේශයක බන්ධනාගාරයක් පවත්වාගෙන යාමේ නුසුදුසුතාව බවත් එයින් සාමාන්‍ය මහජනයාගේ ජීවිත පවා අනතුරට පත්වන බව ජනතිවගේ අවධානයට යොමු කරයි. මේ තත්ත්වයට පිළියමක් ලෙස බන්ධනාගාරයට අයත් විශාල ඉඩම් ප්‍රමාණය විදේශිය සමාගමකට විකිණීමට තමා සැලසුම් කර ඇති බවත් එමගින් රටට විශාල ආදායමක් උපයාගත හැකි බවත් පැවසීය. මීට අදාළ ගිවිසුම් නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනටමත් අදාළ සමාගම් සමග අත්සන් කර ඇති බවත් මෙවැනි ප්‍රදේශයක බන්ධනාගාරයක් පවත්වාගෙන යාමේ නුසුදුසු කම අවබෝධකර දීමට සහාය වූ එස්ටීඑෆ් නිලධාරින්ට තමාගේ ප්‍රණාමය හිමිවන බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම තමාගේ සුදුවෑන් ව්‍යාපෘතිය යටතේ රටට අනාගතයේදී බන්ධනාගාර අවශ්‍ය නොවනු ඇතැයිද ඒ මහතා පැවසීය.

Monday 5 November 2012

පාර්ලිමේන්තු පරිශ්‍රයේ තිබී හමුවූ මරා දමන ලද කාන්තා මළ සිරුර තවමත් හඳුනාගෙන නැහැ! - පොලිස් මාධ්‍ය ප්‍රකාශක



පාර්ලිමේන්තු  සභාගර්භය තුළ කතානායක ආසනය ඉදිරිපිට   තිබී හමු වූ ඝාතනය කරන ලද කාන්තාවගේ  මළ සිරුර.
සිරුර අසළ කඩුවක් සහ තරාදියක් දැක්වේ.  මළ සිරුරේ දෑස් බැද දමා තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක


කොළඹ ශ්‍රී ජයවර්ධන පුර පාර්ලිමේන්තු සභා ගර්භයේ තිබී සති අන්තයේදී හමු වූ කාන්තා මළ සිරුරේ අනන්‍යතාව තවමත් තහවුරු කරගෙන නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි මහතා අද මෙම සිදුවීම පිළිබඳව ජනමාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය. පසුගිය  නොවැම්බර් පළමු දින සවස පාර්ලිමේන්තු සභාගර්භයේ තිබී ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් එහි සුළුසේවකයෙකුට හමුවීමේ ආන්දෝලානාත්මක සිදුවීමෙන් පසු මෙම සිදුවීම පිළිබඳ විවිධ කටකතා පැතිර ගිය අතර දැනට ඒ ගැන සිදුවෙමින් පවතින පරීක්ෂණවල ප්‍රගතිය අනාවරණය කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණ.


පාර්ලිමේන්තු සභාගර්භය
මළ සිරුර හමු වූයේ මෙම සුදුපැහැති වෘත්තයෙන් දැක්වෙන ස්ථානයේ ඇති කතානායක ආසනය ඉදිරිපිටය

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශ ප්‍රශාන්ත ජයකොඩි මහතා සිය මූලික කරුණු පැහැදිලි කිරීමේදී මෙසේ පැවසීය.
" පසුගිය නොවැම්බර් පළමු දින පාර්ලිමේන්තුවේ කටයුතු නිමවීමෙන් පසුව හවස එහි සභාගර්භය පිරිසිදු කිරීමේ නිරතව සිටි සුලු සේවකයෙකුට මෙම කාන්තා මළ සිරුර හමු වුණා.ඔහු සහ පාර්ලිමේන්තු ආරක්ෂක නිලධාරීන් විසින් කරන දැනුම් දීමකට මූලික  පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් මූලික පරීක්ෂණ කටයුතු සිදු කළා.
මරණ පරීක්ෂණ වාර්තාවත් චොහාරික වාර්තාවනුත් අනුව මෙම කාන්තාව ඝාතනය වී ඇත්තේ නොවැම්බර් මස පළමු දින උදේ 10.17 ට ආසන්න කාලයකදීයි. ඇය මරණයට පත්වීමට පෙර දූෂණයකට ලක්වී ඇති බව පරීක්ෂණ වාර්තාවන්හි දැක්වෙනවා. මෙම කාන්තාවගේ දෑස් රෙදිපටයකින් බැඳ තිබූ අතර ඇයගේ එක් අතක තරාදියක්ද අනෙක් අතේ කඩුවක් හෝ එවැනි  විශාල තියුණු කැපෙන ආයුධයක් තිබුනා.

පසුව ජනමාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පොලිස් මාධ්‍ය පරීක්ෂක වරයා විසින් පිළිතුරු දුන් අතර එම ප්‍රශ්න සහ මාධ්‍ය ප්‍රකාශක විසින් ලබාදුන් පිලිතුරු පහත දැක්වේ.

ජනමාධ්‍යය - මෙම මරණයට පත් කාන්තාවගේ අනන්‍යතාව තහවුරු කරගැනිමට පොලිසිය සමත් වී තිබෙනවාද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක- නැහැ. නමුත් අපට දැනටලැබී ඇති සාක්ෂි අනුව ඉක්මණින්ම මියගිය කාන්තාව කවුදැයි හඳුනාගැනීම හැකිවේ යැයි අප සිතනවා.සමහර විට ඇය මාළු වෙළඳාමේ නිරතව සිටි තැනැත්තියක් විය හැකියි. 

ජනමාධ්‍යය- ඔබ එහෙම කියන්නේ ඇයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක- මා ඔබට මුලිනුත් පැවසුවා ඇයගේ මළ සිරුර අසළ තරාදියක් සහ තියුණු කැපෙන පිහියක් වැනි ආයුධයක් තිබූ බව. තරාදියක් සහ එවැනි පිහිවැනි දේ ළඟ තබාගෙන සිටින්නේ සාමාන්‍යයෙන් මාළු වෙළඳාමේ නිරතවන කාන්තාවන් නේද?

ජනමාධ්‍ය- නමුත් අපට තොරතුරු ලැබී තියෙනවා මේ මරා දමා ඇත්තේ මීට වසර ගණනාවකට පෙර කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යාමෙන් පසු මේ රටින් අතුරුදන් වූ කාන්තාවක් බවට. ඒ ගැන ඔබට යමක් කිව හැකිද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක- එවැනි පැහැරගැනීමක් හෝ අතුරුදන් කිරීමක් ගැන අප වෙත කිසිවෙකු විසින් හෝ පැමිණිලි කර  නැහැ. යමෙකු සතුව එවැන් සිදුවීමක් ගැන තොරතුරු තියෙනවානම් පළමුව විධිමත් පැමිණිල්ලක් කර එම තොරතුරු අපවෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

ජනමාධ්‍ය- දැනට මෙම ඝාතනය ගැන කිසිවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවාද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක-  නැහැ! ඔබ සියලු දෙනාම දන්නවා මේ පාර්ලිමේන්තු ගොඩනැගිලි පරිශ්‍රය තුළ සහ ඒ අවට නිතරම නමගිය අපරාධකරුවන්, ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන් , කුඩුජාවාරම්කරුවන්, මංකොල්ලකරුවන් සහ හොරුන් සහ පාතාල කල්ලි  නිතර විශාල වශයෙන් ගැවසෙන ස්ථානයක් බව. ඒ නිසා  පැහැදිලි විද්‍යාත්මක  සාක්ෂි මත පදනම්ව මිසක්  විශේෂයෙන් යමෙකු සැක කර අත්අඩංගුවට ගැනීම අපහසුයි.  තවමත් චෝහාරික පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතිනවා. මළ සිරුර හා අපරාධය සිදු වූ ස්ථානයේ තිබී හමු වූ මිනිස් රුධිරය, ශුක්‍රාණු, කෙළ, රෝම, හිසකේ සාම්පලවල  DNA පරීක්ෂණ වාර්තා ‍කොටසක්  දැනටමත් ලැබී තිබෙනවා. ඒ අනුව නිශ්චිත වශයෙන්ම කිවහැකියි පාර්ලිමේන්තු සභාගර්භය තුළදී සිදු ඇති  මෙම අපරාධයට අඩුතරමින් පුද්ගලයන් 117ක්වත් සහභාගි වී ඇති බව. මෙම ප්‍රමාණය මීට වඩා බොහෝ සෙයින් වැඩි වීමට ද ඉඩ තිබෙනවා. 


ජනමාධ්‍ය- ඇගේ මරණය සිදුව ඇත්තේ කෙසේද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක-  ඇය දීර්ඝකාලයක් රඳවා තබාගෙන වධබන්ධනයන්ට ලක් කර ඇති බවට පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.රෙදි පටියකින් හෝ සාටකයකින් වැනි දෙයකින් ගෙල සිරකිරීමක් සහ තියුණු සහ මොට අවිවලින් පහර දීම් මෙන්ම වෙඩි උණ්ඩවලින්  අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදු ව ඇති බරපතල හානිද   අධික රුධිර වහනය ද මෙම මරණයට හේතු වී ඇති බව කියන්න පුළුවන්.

ජනමාධ්‍ය- ඔබ පැවසුවා සාටකයක් හෝ රෙදි පටියක් වැනි දෙයකින් සිරකිරීමක් සිදුව ඇති බව. මිනී මැරුම සිදු වූ ස්ථානයේ තිබී ඔබේ ප්‍රකාශය සනාථකිරීමට සාක්ෂි හමුවුනාද විශේෂයෙන් සාටක වැනි දේවල්....?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක- අපොයි ඔව්. සාටක නම් එකක් නෙවි කීපයක් හමු වුණා.  සේරොම කුණු ලේ පාට එහෙම නැත්නම් කුරහන් පාට! 

මාධ්‍ය සාකච්ඡාව අවසානයේදී මෙම මළ සිරුර හඳුනාගැනීම සඳහා සහායවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඡායාරූප කීපයක්ද ජනමාධ්‍ය වෙත නිකුත් කළේය.  එම ඡායාරූප මෙම ප්‍රවෘත්තියේ මුල පළ කර ඇත.

Friday 2 November 2012

කටුගෙයි සොරකම පිලිබඳ පරීක්ෂණ අඩාල කිරීමේ මාධ්‍ය කුමන්ත්‍රණයක්!- පොලිස් මාධ්‍ය පරීක්ෂක

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි

      කොළඹ කෞතුකාරයට බිඳ එහි තිබූ වටිනා රාජකීය කඩුවක් සහ වෙනත් පුරාවස්තු සොරකම පිලිබඳ පරීක්ෂණවල ප්‍රගතිය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැම් මාධ්‍ය විසින් දියත් කර ඇතැයි විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශකරයි.
සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
මෙම කුමන්ත්‍රණ කරුවන් විසින් පතුරුවා හරින එක් අසත්‍යයක් වන්නේ  කටු ගෙය බිඳින ලද සැකකරු කෞතුකාරයේ බඩු සොරකම් කොට පලායාමේ දී උඩුමහලෙන් බැසීමට යොදාගෙන ඇත්තේ බෙඩ් ෂීට් එකක් නොව කුරහන් පැහැති සාටකයක් බවට පතුරුවන මිත්‍යාවයි. මොවුන් මෙම මිත්‍යාව ඔප්පු කිරීම සඳහා ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ඡායාරූපයක් ඇතැම් වෙබ් අඩවි හරහා ප්‍රචාරය කරමින් සිටී. මෙම ව්‍යාජ ඡායාරූපය පොලිස් ග්‍රැ‍ෆික් විශේෂඥයන් විසින් පරීක්ෂා කර එය සංස්කරණය(doctored ) කරන ලද ව්‍යාජ එකක් බව ඔප්පු කර ඇත. මෙම නිවේදනය සමග නිකුත් කරන එම අංක 01 ඡායාරූපය මෙම කුමන්ත්‍රණ කරුවන් විසින් ජනතාව නොමග යැවිම සඳහා ප්‍රචාරය කරන්නකි.
අංක 01 ඡායාරූපය-
රතු කවයෙන් සළකුණු කර ඇත්තේ කුමන්ත්‍රණ කරුවන් ව්‍යාජ ලෙස සකස් කර ඇති ආකාරයට සැකකරු කණේගෙඩියා නැමැත්තා කෞතුකාගාරයේ උඩුමහලයෙන් බැස පලායාමට භාවිතා කරනලද කුරහන් පැහැති සාටකයයි.

මෙම හොරකම සිදු වූ වහාම නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානානායක මහතාගේ නියෝග මත එතැනට ගිය පොලිස් ඡායාරූප ශිල්පීන් කණේගෙඩියා නැමැති මෙම සැකකරු පලායාමට බෙඩ් ෂීට් එකක් භාවිතා කර ඇති ආකාරය ඡායාරූප ගත කරන ලදි. මෙහි ඇති අංක 02 ඡායාරූපය එම  සත්‍ය ඡායාරූපයයි.මෙම අසත්‍ය ප්‍රචාරය පිලිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කරනු වස්  එම ඡායාරූපයද මාධ්‍ය වෙත නිකුත් කිරීමට තීරණය කළෙමු.
අංක 02 ඡායාරූපය
මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ සැකකරු බෙඩ්ෂීටයක් භාවිතාකරමින් පලා ගිය ආකාරය පරීක්ෂණ පැවැත් වූ
පොලිස් නිලධාරීන් ගත් සත්‍ය ඡායාරූපයයි.

මෙම කුමන්ත්‍රණකරුවන්ගේ තවත් වෑයමක් වනුයේ මෙම සොරා පලාගිය ආකාරය කැමරාවල සනිටුහන් වී නැත්තේ මන්දැයි යනුවෙන් ප්‍රශ්න මතුකරමින් පොලිස් පරීක්ෂණවල අපක්ෂපාතිත්වය සහ විද්‍යාත්මක භාවය ගැන සැකයක් මතුකිරීමයි.
මෙම සැකය දුරුකිරීම සඳහා කෞතුකාගාර ගේට්ටුව අසල සවිකර ඇති කැමරාවල වීඩියෝ ගතව ඇති සැකකරු හොරකම් කරන ලද පුරාවස්තු මල්ල ද රැගෙන පලා යන ආකාරය දැක්වෙන අවස්ථාවේ ඡායාරූපයක් (ඡායාරූප අංක 03) ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අංශය කටයුතු කර ඇත.


කණේ ගෙඩියා නැමැත්තා තමන් විසින් සොරකම් කරන ලද බඩු රැගෙන පලා යන ආකාරය CCTV කැමරාවල සනිටුහන්වී තිබූ ආකාරය.
 මෙම ඡායාරූප මීට කලින් නිකුත් කරනු නොලැබූවේ පොලිස් පරීක්ෂණවලට බාධා වීමට නියමිතව තිබූ බැවිනි. තත්ත්වය මෙසේ හෙයින් මෙම අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී පොලිස් පරීක්ෂණවලට සහාය දෙන ලෙස ඉල්ලා සිටිමු.