Wednesday 31 October 2012

ජාතික ඉතිරිකිරීම් බැංකු මංකොල්ලයේ සැකකරුවෙකු අත් අඩංගුවට ගත්තා- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිස් මාධ්‍ය ප්‍රකාශක
බැංකු කොල්ලකරුවන් ජාතික ඉතුරුකිරීම් බැංගු මූලස්ථානයට ඇතුළු වී ඇත්තේ මෙහි දැක්වෙන සිංහ කොඩිය එසැවූ කණුව දිගේ බඩගාමිනි. රතුපැහැති රවුමෙන් දැක්වෙනුයේ සිංහ කොඩියයි


පසුගිය අප්‍රේල් මස 27 වන දින ජාතික ඉතිරිකිරීම් බැංකුවේ මූලස්ථානයට ඇතුළු වී මහ දවාලේ රුපියල් මිලියන 390ක් මංකොල්ලකෑ කල්ලියේ එක් සැකකරුවෙකු මෙම මංකොල්ලය පිලිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.  ප්‍රදීප් කාරියවසම් නොහොත් සුරාජ් නැමැති මෙම සැකකරුඑක්තරා ප්‍රභූ කාන්තාවකගේ සැමියා ලෙස වෙස්වලාගෙන සිටියදී අත් අඩංගුවට ගැනීමට ‍දීර්ඝ විමර්ශන මෙහෙයුමකින් පසුව පොලිස් කණ්ඩායම් සමත්ව තිබේ. මෙම සැකකරු මීට පෙර ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ සිදු වූ හොරකමකටද සම්බන්ධව ඇතැයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. කෙසේවුවද මෙම මංකොල්ලයට සම්බන්ධ ප්‍රධාන පෙලේ කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම ප්‍රදීප් කාරියවසම් නැමැත්තාගෙන් ලැබෙන තොරතුරු ඉවහල්වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.සැකකරුගේ පාපෝච්චාරණයට අනුව බැංකුව කොල්ලකෑම සදහා මංකොල්ලකරුවන්ගෙන් සමහරෙක් සිංහ කොඩිය ඔසවා ඇති කණුව දිගේ ඉහළට බඩගාමින් බැංකුවේ සේප්පුව තිබූ මහලට ඇතුළු වී ඇති අතර සෙස්සන් ඉදිරිපස හා පිටුපස දොරටුවලින් ඇතුළු වී තිබේ. 

      මොහුගේ පාපෝච්චාරණය අනුව මෙම මංකොල්ලයේ මහමොළකරුවන් දෙදෙනාගේ හැඩරුව ඇතුළත් රූප නිර්මාණය කිරීමට පොලිස් චිත්‍ර ශිල්පීන් සමත්ව තිබේ. . මෙම මාධ්‍ය හමුවේදී ඉහත මහමොළකරුවන් දෙදෙනාගේ රූප ජනමාධ්‍යවලට නිකුත් කරන ලදි. මෙම පුද්ගලයන් පිලිබඳ යම් තොරතුරක් දන්නේ නම් අදාළ අංශවෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.

මොවුන් පිලිබ තොරතුරු සපයන්න.



මෙම රූපයෙන් දැක්වෙන පුද්ගලයා මැදමුලන සහ හම්බන්තොට යන ප්‍රදේශවල සිදු වූ අපරාධ රැසක් මෙහෙයවූ පාතාල නායකයෙකි. මරා නොහොත් මහේන්ද්‍ර නොහොත් පර්සි යන අන්වර්ථ නම්වලින් හැඳින්වේ. 2005 වසරේ සුනාමි සහනාධාර මංකොල්ලය මෙහෙය වූ මොහු කොළඹ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සැරිසරයි. නිතරම සුදුපැහැති ජාතික ඇඳුමකින් සැරසී ගෙලවටා රතුපැහැති පටියක් පටලා ගෙන සිටී. ඇතැම් විට උරහිසෙහි "මැකෝ" වර්ගයට අයත් ගිරවෙකු දැකිය හැකිය. ජාතික ඉතුරු කිරීමේ බැංකු‍ මංකොල්ලයේ ප්‍රධාන සැලසුම් කරුවන මොහු සතුව එම කොල්ලයෙන් පැහැරගත් විශාල මුදලක් සතුව ඇතැයි පොලිසිය විශ්වාස කරයි.




මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ බැරා නොහොත් ටෙන් පර්සන්ට් නැමැත්තාය. මොහු ඉහත මරා නැමැති පාතාල නායකයාගේ සොහොයුරෙකි. මොහුද ජාතික ඉතිරිකිරීම් බැංකු කොල්ලයට සම්බන්ධය. 2005 ට පෙර කුඩා පරිමාණ හොරකම් වල නිරතව සිටි මොහු කළක් විදේශගතව පොලිසියෙන් කට්ටි පනිමින් සිටියේය. මහාභාණ්ඩාගාරයේ සිදු වූ හොරකම් රැසකට ද මොහු සම්බන්ධ යැයි පොලිසිය සැක කරයි. මොහු ද සුදු පැහැති ඇඳුම් අඳින අතර ගෙලවටා රතුපැහැති පටියක් පටලා ගෙන සිටී. මොහු සමෘද්ධි බැංකුව මංකොල්ලකෑමට සැලසුම් කර ඇතැයිද පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් පිලිබ තොරතුරක් දන්නේ නම් පොලිස් හදිසි ඇමැතුම් අංශයට දන්වන ලෙස ජනතාවට ආයාචනය කරන්නේ යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි මහතා වැඩි දුරටත් පැවසීය

Tuesday 30 October 2012

කටු ගෙයි සැකකරු බී ඇත්තේ විශේෂ බීඩි වර්ගයක්- පොලිස් මාධ්‍ය ප්‍රකාශක




නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විශේෂ බීඩි සාම්පලයක් අතැතිව
පොලිස් බීඩි විමර්ශන ඒකකයේ නිලධාරින් කෞතුකාගාරයේ තිබී අහුලාගත් බීඩි කොට පරීක්ෂා කරන ආකාරය.


කටුගෙයි සොරකමේ සැකකරු


පසුගියදා පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් කරන ලද රහසිගත මෙහෙයුමක් මගින් අත් අඩංගුවට ගනු පුද්ගලයා කෞතුකාගාරයේ අල්මාරියක් තුළ සැඟවී පානය කරන ලද බීඩි 20 දුම් නොනගින වර්ගයේ වි‍ශේෂ බීඩි වර්ගයක් බව රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව විසින් පවත්වන ලද පරීක්ෂණ මගින් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි මහතා  අද පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ පුවත් සාකච්ඡාවකදී පැවසීය. මෙම පුවත් සාකච්ඡාව කැඳවනු ලැබූයේ කෞතුකාගාර සොරකම පිලිබඳ පැවැත්වෙන පරීක්ෂණයන්ගේ ප්‍රගතිය මාධ්‍ය වෙත අනාවරණය කරනු පිණිසය.  මෙම අවස්ථාවට  නියොජ්‍ය පොලිස්පති අනුර  සේනානායක මහතා ඇතුළු බීඩි විමර්ශන අංශයේ නිලධාරින්ද සහභාගිවිය. කෞතුකාගාරයේ අල්මාරිය තුළ තිබී අහුලන ලද බීඩි කොටද මෙහි දී මාධ්‍යවේදින් හමුවේ ප්‍රදර්ශනය කරනු ලැබිණ. මෙහිදී සහභාගි වූ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි මහතා ලබා දුන් පිළිතුරු පහත දැක්වේ!



ප්‍රශ්නය-  මෙම පුද්ගලයා බීඩි 20ක් පමණ කෞතුකාගාරය තුළට රැගෙන ගිය බව   බව ප්‍රකාශ කර ඇතැයි සඳහන් වෙනවා. එම ප්‍රකාශය ඇත්තක්ද? 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි-  මොහු බීඩි 20ක් රැගෙන ගිය බවට වන ප්‍රකාශය ඇත්තක්! අපට එහි අල්මාරියක් තුළ තිබී බීඩි කොට 19ක් හමුවුණා. ඉතුරු බීඩි කොටයට සිදුවූයේ කුමක්දැයි දැන් සැකකරුගෙන් අපගේ විමර්ශන නිලධාරින් දැඩි ලෙස ප්‍රශ්න කරමින් සිටිනවා.

ප්‍රශ්නය-  මෙම බීඩි වලින් නිකුත් වූ දුම එදින කෞතුකාගාරය බැලීමට පැමිණි වෙනත් අයට හෝ එහි සේවය කරන අයට නොදැනුනේඇයි?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි- මෙම සැකකරු භාවිතා කර ඇත්තේ ඇමෙරිකාවේ සිට රහසිගතව ගෙන්වනු ලැබ ඇති දුම නොනගින වර්ගයේ විශේෂ බීඩි වර්ගයක්.  මෙම බීඩි විශේෂයෙන් කෞතුකගාර සොරකම්වල නිරතවන හොරුන්ගේ භාවිතය සඳහා ලොව පුරා සංවිධානාත්මක අපරාධවල නිරතවන කණ්ඩායම් විසින් නිපදවා වැඩි දියුණු කරනු ලැබූ එකක්. 1911දී ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තිබූ මෝනාලිසා සිතුවම හොරකම් කළ වින්ට්සෙන්සෝ පෙරුග්ගියා නම් පුද්ගලයාත් මෙම බීඩිවර්ගය පානය කර ඇති බවට ජාත්‍යන්තර පොලිසිය අප වෙත වාර්තා කර තිබෙවා. මෙම පෙරුග්ගියා සහ කනේගෙඩියා අතර ඥාති සම්බන්ධයක් ඇත්දැයි යන්න සෙවීමට නියොජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඇතුළුව ශ්‍රි ලංකා පොලිසියේ බීඩි විමර්ශන ඒකකයේ  විශේෂ පොලිස් කණ්ඩායමක්  ප්‍රංශයට යාමට නියමිතයි.

ප්‍රශ්නය- මෙම පරීක්ෂණවල ප්‍රගතිය කුමක්ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි- මම ඔබට කලින් පැවසුවා වාගේ අපි මෙම සැකකරු කෞතුකාගාරය තුළට රැගෙන ගිය බීඩි 20න් 19කම බීඩි කොට සොයාගැනීමට සමත්ව තිබෙනවා.එය 95%ක ප්‍රගතියක් නෙවෙයිද?

ප්‍රශ්නය- සැකකරු ළග තිබි හමු වූ භාණ්ඩ මොනවාද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි-  කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ධශයේ නිලධාරීන් සහ විශේෂ ‍පරීක්ෂණ කණ්ඩායම් විසින් බදුල්ල සහ ගලිගමුව, පිලියන්දල, මීගමුව යන ප්‍රදේශවල පදිංචි ‍, මොහුගේ අනියම් භාර්යාවන් ගණනාවක් සොයාගෙන තිබෙනවා.
ප්‍රශ්නය- මගේ ප්‍රශ්නයෙන් අදහස් කළේ  සැකකරුගේ අනියම් භාර්යාවන් ගැන නොවෙයි. කෞතුකාගාරයෙන් නැති වූ භාණ්ඩ පිලිබඳවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි- ඒවා නම් එකක්වත් දැනට හම්බ වෙලා නැහැ.

ප්‍රශ්නය- මෙම පරීක්ෂණවලට දැනට යම් බාධාවන් එල්ලවෙමින් පවතින බව ඇත්තක්ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි-  එය පදනම් විරහිත ප්‍රකාශයක්. අපට එල්ලවී ඇති එකම දුෂ්කරතාව මෙවැනි අපරාධ සම්බන්ධව පුහුණුව ලද නිලධාරින් හිඟයයි. උදාහරණයක් හැටියට ගත්තොත් දැනට බීඩි පිලිබදව හසළ අත්දැකීම් සහිත නිලධාරියෙකුට සිටින්නේ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පමණයි.
ප්‍රශ්නය- මීට පෙර කිසියම් සන්නද්ධ පිරිසක් විසින් කෞතුකාගාරයේ මුරකරු පැහැරගෙන ගොස් ඔහුට මෙම සොරකම්වල වගකීම භාරගන්නා බල කරමින් වද දී තිබෙනවා. එම සිදුවීම හා මෙම සැකකරු අතර සම්බන්ධයක් තියෙනවාද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි - ඔව්, සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඒක අනියම් එකක්.

ප්‍රශ්නය- ඔබගේ පිලිතුර පැහැදිලි නැහැ, එය මඳක් පැහැදිලිකරන්න පුළුවන්ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි- කෞතුකාගාරයේ මුරකරු පැහැරගෙන ගොස් පහර දී ඇත්තේ මෙම සැකකරුගේ අනියම් භාර්යාවන් විසිනුයි.

Thursday 25 October 2012

සිංහපාදවලට සිදුව ඇති හානිය ගැන ජනාධිපති ආරක්ෂක අංශය වගකිවයුතු නැහැ- පොලිස්පතිගෙන් නිවේදනයක්


සිංහපාදවලට එල්ලවූ අකුණු ප්‍රහාරය සීගිරියේ විශේෂ CCTV කැමරාවල පටිගත වී තිබූ ආකාරය. පොලිස් ග්‍රැෆික් අංශය විසින් නිකුත් කරන ලද්දකි.

සිංහපාදයට හානි සිදුව තිබූ ආකාරය

සීගිරියේ  සිංහ පාද වලට අකුණක් වැදීමෙන්  සිදුව ඇති හානිය  පිළිබඳව පැතිර යන   අසත්‍ය කටකතාවන්ට නොරැවටෙන ලෙස  පොලිස් පතිවරයා විශේෂ නිවේදනයක් මගින් ජනතාවගෙන් ඉල්ලා සිටී.  රජය අපහසුතාවයට පත්කිරීමේ සැළසුම් ඇතිව මෙම ප්‍රචාර දියත්වන බවත් ඒවාට නොරැවටී නීතිය සහ සාමය ආරක්ෂා කරන ලෙසත් පොලිස්පතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටී.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
සීගිරියේ සිංහපාදවලට අකුණක් වැදී සිදුව ඇති හානිය  සම්බන්ධව   පැතිර යන  කටකතා සත්‍යයෙන් තොර බව ඒ පිලිබඳව පැවැත්වුණ පරීක්ෂණවලින් හෙළි වී තිබේ. සීගිරියට අකුණක් වැදීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් රජයේ වගකිව යුතු අංශ  වෙත කරනු ලැබූ අනතුරු ඇඟවීමකට 
අනුව වහාම ක්‍රියාත්මක වූ පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව  මේ පිලිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකර තිබේ. මේ ගැන ක්ෂණිකව මැදිහත් වූ ජනාධිපතිතුමා සීගිරිය අකුණු වලින් ආරක්ෂාකිරීම පිණිස අවශ්‍ය පියවර ගන්නා ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන් අතර  ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත  විශේෂ හමුදා කණ්ඩායමක් සහ ජනාධිපති ආරක්ෂක අංශයට අයත් නිලධාරීන් පිරිසක් අවශ්‍ය ආරක්ෂක විධි විධාන ගෙන ඇත. සාමාන්‍යයෙන් අකුණු වදිනුයේ  උස්තැන් වලට වීම හේතුවෙන් මෙම නිලධාරිහූ ආරක්ෂක පියවරක් ලෙස අකුණු සන්නායක සිගිරි ගල මුදුනට සවිකළ අතර ඒ හේතුවෙන් සීගිරි ගල මුදුනට අකුණු වැදීම වැළැකී ගියේය. කෙසේවුවද පාමුළ වූ සිංහපාද අසල අකුණු සන්නායක  විදුලිබලය ඇණහිටීම නිසා අකර්මණ්‍ය වීම හේතුවෙන් ඒ මත පතිතවූ අකුණකින් සිංහපාදවලට සුළු හානි සිදුව තිබේ. කෙසේවුවද මෙම අකුණු වැදීම සීගිරියේ සවිකර ඇති ආරක්ෂක  කැමරාවල පටිගතවී තිබේ.  සිංහපාදවලට පසුගියදා සිදුව ඇති හානිය  ජනාධිපති ආරක්ෂක අංශ විසින් කිසියම් කඩුවක් වැනි තියුණු මුවහත් අවියක් සොයා කරනු ලැබූ කැණීමක ප්‍රතිඵලයක් ලෙස මේ පිලිබඳව පැතිර පවතින අසත්‍ය තොරතුරුවලට පිළිතුරක් ලෙස   මෙම අකුණු වැදීමේ සිදුවීම දැක්වෙන ඡායාරූප ජන මාධ්‍යවලට නිකුත් කිරීමට  පොලිස්  මාධ්‍ය  ඒකකය කටයුතු  කර ඇත මෙම අසත්‍ය තොරතුරුවලට නොරැවටී නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සහාය වන ලෙස ඉල්ලා සිටිමු.

Tuesday 23 October 2012

යතුරු පැදිකරු ඇමැතිගේ ඩිෆෙන්ඩර් රථය යට කර දෑමීමට වෑයම්කරලා ! -පොලිස් මාධ්‍ය ප්‍රකාශක

යතුරු පැදියට යටවූ ඇමැති රියට හානි සිදුව ඇති අයුරු





පසුගියදා ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පරිවාර රථය සමග යතුරුපැදිකරුවෙකු ගැටීමේ සිදුවීම පිලිබඳව මේ වනවිට මූලික පොලිස් පරීක්ෂණ අවසන් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි මහතා පවසයි. මෙම සිදුවීම පිලිබඳව ඇතැම් මාධ්‍ය විසින් ඇමැති රියට යතුරුපැදි කරුවෙකු යටකිරීමක් ලෙස දක්වමින් සිදු කරනු ලබන ප්‍රචාරයන් සහමුළින්ම සාවද්‍ය බව මෙම පරීක්ෂණවලින් හෙළි වී තිබෙන බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය. මෙම පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති අන්දමට මෙම යතුරු පැදිකරු තම යතුරු පැදිය මගින් ඇමැති පරිවාරක රථය යටකර පලායාමට උත්සාහ කර තිබේ.. යතුරු පැදියට යටවීමෙන් ඇමැතිගේ ඩිෆෙන්ඩර් වර්ගයේ රියට බරපතල හානි සිදු වී ඇති අතර එහි සිටි විශේෂ කාර්ය බලකා සෙබළුන්ටද හානි සිදු වී තිබේ.. මෙම යතුරුපැදි කරු අනතුරට පත්ව ඇත්තේ ඩිෆෙන්ඩර් රථය යටකර පලායාමට තැත්කරද්දි අසල වූ ලයිට් කණුවක හැපීමෙන් බවත් මෙම සිදුවීම පිටුපස ඇමැති ඝාතන තැතක් තිබේද යන්න විමර්ශනය කිරීමට තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව පොලිස්මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් ප්‍රකාශකර සිටියේය.  

Monday 22 October 2012

නව මාධ්‍ය ප්‍රකාශක වැඩ බාර‍ගනී!



හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා එම තනතුරෙන් ඉවත්වීකිරීම පිලිබඳව පැතිර යන දූෂමාන ආරංචි වල කිසිදු සත්‍යතාවක් නැතැයි පොලිස් පතිවරයා පවසයි. අජිත් රෝහණ මහතා එම තනතුරෙන් ඉවත් කරනු ලැබූයේ රාජකාරිමය අවශ්‍යතා සඳහා බව පොලිස්පතිවරයා වැඩි දුරටත් පැවසීය. පුරප්පාඩු වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර සඳහා හිටපු මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි මහතා
වැඩ බාරගෙන තිබේ. ප්‍රශාන්ත ජයකොඩි මහතා මාධ්‍ය ප්‍රකාශක ධූරයේ කටයුතු කිරීමට අත්‍යවශ්‍ය වන වැඩිදුර පුහුණුවක් සඳහා පසුගිය කාලයේ විදේශගත වී සිටියේය.. ඒ මහතා ඇමෙරිකාවේ ‍ බොස්ටන් සරසවියේ රංගකලාව පිලිබඳ විශේෂ ඩිප්ලෝමා පාඨමාළාවක්ද, හාර්වඩ් සරසවියේ ප්‍රබන්ධ සාහිත්‍ය පිලිබඳ විශේෂ ඩිප්ලෝමා පාඨමාලාවක්ද හදාරා තිබේ. මෙම නව වෘත්තීය පුහුණු සුදුසුකම් අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට වඩා.ත් සුදුසුම නිලධාරියා ප්‍රශාන්ත ජයකොඩි මහතා බව මෙම නව පත්වීම ගැන කරුණු දැක් වූ පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන්කළේය.