Tuesday 30 October 2012

කටු ගෙයි සැකකරු බී ඇත්තේ විශේෂ බීඩි වර්ගයක්- පොලිස් මාධ්‍ය ප්‍රකාශක




නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විශේෂ බීඩි සාම්පලයක් අතැතිව
පොලිස් බීඩි විමර්ශන ඒකකයේ නිලධාරින් කෞතුකාගාරයේ තිබී අහුලාගත් බීඩි කොට පරීක්ෂා කරන ආකාරය.


කටුගෙයි සොරකමේ සැකකරු


පසුගියදා පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් කරන ලද රහසිගත මෙහෙයුමක් මගින් අත් අඩංගුවට ගනු පුද්ගලයා කෞතුකාගාරයේ අල්මාරියක් තුළ සැඟවී පානය කරන ලද බීඩි 20 දුම් නොනගින වර්ගයේ වි‍ශේෂ බීඩි වර්ගයක් බව රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව විසින් පවත්වන ලද පරීක්ෂණ මගින් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි මහතා  අද පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ පුවත් සාකච්ඡාවකදී පැවසීය. මෙම පුවත් සාකච්ඡාව කැඳවනු ලැබූයේ කෞතුකාගාර සොරකම පිලිබඳ පැවැත්වෙන පරීක්ෂණයන්ගේ ප්‍රගතිය මාධ්‍ය වෙත අනාවරණය කරනු පිණිසය.  මෙම අවස්ථාවට  නියොජ්‍ය පොලිස්පති අනුර  සේනානායක මහතා ඇතුළු බීඩි විමර්ශන අංශයේ නිලධාරින්ද සහභාගිවිය. කෞතුකාගාරයේ අල්මාරිය තුළ තිබී අහුලන ලද බීඩි කොටද මෙහි දී මාධ්‍යවේදින් හමුවේ ප්‍රදර්ශනය කරනු ලැබිණ. මෙහිදී සහභාගි වූ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි මහතා ලබා දුන් පිළිතුරු පහත දැක්වේ!



ප්‍රශ්නය-  මෙම පුද්ගලයා බීඩි 20ක් පමණ කෞතුකාගාරය තුළට රැගෙන ගිය බව   බව ප්‍රකාශ කර ඇතැයි සඳහන් වෙනවා. එම ප්‍රකාශය ඇත්තක්ද? 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි-  මොහු බීඩි 20ක් රැගෙන ගිය බවට වන ප්‍රකාශය ඇත්තක්! අපට එහි අල්මාරියක් තුළ තිබී බීඩි කොට 19ක් හමුවුණා. ඉතුරු බීඩි කොටයට සිදුවූයේ කුමක්දැයි දැන් සැකකරුගෙන් අපගේ විමර්ශන නිලධාරින් දැඩි ලෙස ප්‍රශ්න කරමින් සිටිනවා.

ප්‍රශ්නය-  මෙම බීඩි වලින් නිකුත් වූ දුම එදින කෞතුකාගාරය බැලීමට පැමිණි වෙනත් අයට හෝ එහි සේවය කරන අයට නොදැනුනේඇයි?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි- මෙම සැකකරු භාවිතා කර ඇත්තේ ඇමෙරිකාවේ සිට රහසිගතව ගෙන්වනු ලැබ ඇති දුම නොනගින වර්ගයේ විශේෂ බීඩි වර්ගයක්.  මෙම බීඩි විශේෂයෙන් කෞතුකගාර සොරකම්වල නිරතවන හොරුන්ගේ භාවිතය සඳහා ලොව පුරා සංවිධානාත්මක අපරාධවල නිරතවන කණ්ඩායම් විසින් නිපදවා වැඩි දියුණු කරනු ලැබූ එකක්. 1911දී ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තිබූ මෝනාලිසා සිතුවම හොරකම් කළ වින්ට්සෙන්සෝ පෙරුග්ගියා නම් පුද්ගලයාත් මෙම බීඩිවර්ගය පානය කර ඇති බවට ජාත්‍යන්තර පොලිසිය අප වෙත වාර්තා කර තිබෙවා. මෙම පෙරුග්ගියා සහ කනේගෙඩියා අතර ඥාති සම්බන්ධයක් ඇත්දැයි යන්න සෙවීමට නියොජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඇතුළුව ශ්‍රි ලංකා පොලිසියේ බීඩි විමර්ශන ඒකකයේ  විශේෂ පොලිස් කණ්ඩායමක්  ප්‍රංශයට යාමට නියමිතයි.

ප්‍රශ්නය- මෙම පරීක්ෂණවල ප්‍රගතිය කුමක්ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි- මම ඔබට කලින් පැවසුවා වාගේ අපි මෙම සැකකරු කෞතුකාගාරය තුළට රැගෙන ගිය බීඩි 20න් 19කම බීඩි කොට සොයාගැනීමට සමත්ව තිබෙනවා.එය 95%ක ප්‍රගතියක් නෙවෙයිද?

ප්‍රශ්නය- සැකකරු ළග තිබි හමු වූ භාණ්ඩ මොනවාද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි-  කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ධශයේ නිලධාරීන් සහ විශේෂ ‍පරීක්ෂණ කණ්ඩායම් විසින් බදුල්ල සහ ගලිගමුව, පිලියන්දල, මීගමුව යන ප්‍රදේශවල පදිංචි ‍, මොහුගේ අනියම් භාර්යාවන් ගණනාවක් සොයාගෙන තිබෙනවා.
ප්‍රශ්නය- මගේ ප්‍රශ්නයෙන් අදහස් කළේ  සැකකරුගේ අනියම් භාර්යාවන් ගැන නොවෙයි. කෞතුකාගාරයෙන් නැති වූ භාණ්ඩ පිලිබඳවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි- ඒවා නම් එකක්වත් දැනට හම්බ වෙලා නැහැ.

ප්‍රශ්නය- මෙම පරීක්ෂණවලට දැනට යම් බාධාවන් එල්ලවෙමින් පවතින බව ඇත්තක්ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි-  එය පදනම් විරහිත ප්‍රකාශයක්. අපට එල්ලවී ඇති එකම දුෂ්කරතාව මෙවැනි අපරාධ සම්බන්ධව පුහුණුව ලද නිලධාරින් හිඟයයි. උදාහරණයක් හැටියට ගත්තොත් දැනට බීඩි පිලිබදව හසළ අත්දැකීම් සහිත නිලධාරියෙකුට සිටින්නේ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පමණයි.
ප්‍රශ්නය- මීට පෙර කිසියම් සන්නද්ධ පිරිසක් විසින් කෞතුකාගාරයේ මුරකරු පැහැරගෙන ගොස් ඔහුට මෙම සොරකම්වල වගකීම භාරගන්නා බල කරමින් වද දී තිබෙනවා. එම සිදුවීම හා මෙම සැකකරු අතර සම්බන්ධයක් තියෙනවාද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි - ඔව්, සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඒක අනියම් එකක්.

ප්‍රශ්නය- ඔබගේ පිලිතුර පැහැදිලි නැහැ, එය මඳක් පැහැදිලිකරන්න පුළුවන්ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි- කෞතුකාගාරයේ මුරකරු පැහැරගෙන ගොස් පහර දී ඇත්තේ මෙම සැකකරුගේ අනියම් භාර්යාවන් විසිනුයි.

3 comments:

  1. එලම කිරි.... දිගටම ලියමු !!

    ReplyDelete
  2. කතාව ඇත්ත! අනුර සේනානායක කියන්නේ මෑතක් වනකල්ම බීඩි ගගහ හිටපු එකෙක් තමයි.

    ReplyDelete