Friday 2 November 2012

කටුගෙයි සොරකම පිලිබඳ පරීක්ෂණ අඩාල කිරීමේ මාධ්‍ය කුමන්ත්‍රණයක්!- පොලිස් මාධ්‍ය පරීක්ෂක

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි

      කොළඹ කෞතුකාරයට බිඳ එහි තිබූ වටිනා රාජකීය කඩුවක් සහ වෙනත් පුරාවස්තු සොරකම පිලිබඳ පරීක්ෂණවල ප්‍රගතිය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැම් මාධ්‍ය විසින් දියත් කර ඇතැයි විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශකරයි.
සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
මෙම කුමන්ත්‍රණ කරුවන් විසින් පතුරුවා හරින එක් අසත්‍යයක් වන්නේ  කටු ගෙය බිඳින ලද සැකකරු කෞතුකාරයේ බඩු සොරකම් කොට පලායාමේ දී උඩුමහලෙන් බැසීමට යොදාගෙන ඇත්තේ බෙඩ් ෂීට් එකක් නොව කුරහන් පැහැති සාටකයක් බවට පතුරුවන මිත්‍යාවයි. මොවුන් මෙම මිත්‍යාව ඔප්පු කිරීම සඳහා ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ඡායාරූපයක් ඇතැම් වෙබ් අඩවි හරහා ප්‍රචාරය කරමින් සිටී. මෙම ව්‍යාජ ඡායාරූපය පොලිස් ග්‍රැ‍ෆික් විශේෂඥයන් විසින් පරීක්ෂා කර එය සංස්කරණය(doctored ) කරන ලද ව්‍යාජ එකක් බව ඔප්පු කර ඇත. මෙම නිවේදනය සමග නිකුත් කරන එම අංක 01 ඡායාරූපය මෙම කුමන්ත්‍රණ කරුවන් විසින් ජනතාව නොමග යැවිම සඳහා ප්‍රචාරය කරන්නකි.
අංක 01 ඡායාරූපය-
රතු කවයෙන් සළකුණු කර ඇත්තේ කුමන්ත්‍රණ කරුවන් ව්‍යාජ ලෙස සකස් කර ඇති ආකාරයට සැකකරු කණේගෙඩියා නැමැත්තා කෞතුකාගාරයේ උඩුමහලයෙන් බැස පලායාමට භාවිතා කරනලද කුරහන් පැහැති සාටකයයි.

මෙම හොරකම සිදු වූ වහාම නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානානායක මහතාගේ නියෝග මත එතැනට ගිය පොලිස් ඡායාරූප ශිල්පීන් කණේගෙඩියා නැමැති මෙම සැකකරු පලායාමට බෙඩ් ෂීට් එකක් භාවිතා කර ඇති ආකාරය ඡායාරූප ගත කරන ලදි. මෙහි ඇති අංක 02 ඡායාරූපය එම  සත්‍ය ඡායාරූපයයි.මෙම අසත්‍ය ප්‍රචාරය පිලිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කරනු වස්  එම ඡායාරූපයද මාධ්‍ය වෙත නිකුත් කිරීමට තීරණය කළෙමු.
අංක 02 ඡායාරූපය
මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ සැකකරු බෙඩ්ෂීටයක් භාවිතාකරමින් පලා ගිය ආකාරය පරීක්ෂණ පැවැත් වූ
පොලිස් නිලධාරීන් ගත් සත්‍ය ඡායාරූපයයි.

මෙම කුමන්ත්‍රණකරුවන්ගේ තවත් වෑයමක් වනුයේ මෙම සොරා පලාගිය ආකාරය කැමරාවල සනිටුහන් වී නැත්තේ මන්දැයි යනුවෙන් ප්‍රශ්න මතුකරමින් පොලිස් පරීක්ෂණවල අපක්ෂපාතිත්වය සහ විද්‍යාත්මක භාවය ගැන සැකයක් මතුකිරීමයි.
මෙම සැකය දුරුකිරීම සඳහා කෞතුකාගාර ගේට්ටුව අසල සවිකර ඇති කැමරාවල වීඩියෝ ගතව ඇති සැකකරු හොරකම් කරන ලද පුරාවස්තු මල්ල ද රැගෙන පලා යන ආකාරය දැක්වෙන අවස්ථාවේ ඡායාරූපයක් (ඡායාරූප අංක 03) ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අංශය කටයුතු කර ඇත.


කණේ ගෙඩියා නැමැත්තා තමන් විසින් සොරකම් කරන ලද බඩු රැගෙන පලා යන ආකාරය CCTV කැමරාවල සනිටුහන්වී තිබූ ආකාරය.
 මෙම ඡායාරූප මීට කලින් නිකුත් කරනු නොලැබූවේ පොලිස් පරීක්ෂණවලට බාධා වීමට නියමිතව තිබූ බැවිනි. තත්ත්වය මෙසේ හෙයින් මෙම අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී පොලිස් පරීක්ෂණවලට සහාය දෙන ලෙස ඉල්ලා සිටිමු.

3 comments:

  1. හෙහ්..හේ.. දැන් පොලිස් මාධ්‍ය ප්‍රකශකට මොකක් හරි බොරුවක් කියන්න ඉස්සෙල්ල මේ බ්ලොග් එක බලන්න වෙනවා ඒක කලින් මේකේ ලියලා තියෙන එකක්ද කියලා.

    ReplyDelete
  2. කරකවලා අතෑරියා වාගේ බං. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා. පොලිස් මාද්‍ය පරීක්ශක නගුට හපාගෙන මැරෙයිද දන්නෑ.

    ReplyDelete