Monday 5 November 2012

පාර්ලිමේන්තු පරිශ්‍රයේ තිබී හමුවූ මරා දමන ලද කාන්තා මළ සිරුර තවමත් හඳුනාගෙන නැහැ! - පොලිස් මාධ්‍ය ප්‍රකාශක



පාර්ලිමේන්තු  සභාගර්භය තුළ කතානායක ආසනය ඉදිරිපිට   තිබී හමු වූ ඝාතනය කරන ලද කාන්තාවගේ  මළ සිරුර.
සිරුර අසළ කඩුවක් සහ තරාදියක් දැක්වේ.  මළ සිරුරේ දෑස් බැද දමා තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක


කොළඹ ශ්‍රී ජයවර්ධන පුර පාර්ලිමේන්තු සභා ගර්භයේ තිබී සති අන්තයේදී හමු වූ කාන්තා මළ සිරුරේ අනන්‍යතාව තවමත් තහවුරු කරගෙන නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි මහතා අද මෙම සිදුවීම පිළිබඳව ජනමාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය. පසුගිය  නොවැම්බර් පළමු දින සවස පාර්ලිමේන්තු සභාගර්භයේ තිබී ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් එහි සුළුසේවකයෙකුට හමුවීමේ ආන්දෝලානාත්මක සිදුවීමෙන් පසු මෙම සිදුවීම පිළිබඳ විවිධ කටකතා පැතිර ගිය අතර දැනට ඒ ගැන සිදුවෙමින් පවතින පරීක්ෂණවල ප්‍රගතිය අනාවරණය කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණ.


පාර්ලිමේන්තු සභාගර්භය
මළ සිරුර හමු වූයේ මෙම සුදුපැහැති වෘත්තයෙන් දැක්වෙන ස්ථානයේ ඇති කතානායක ආසනය ඉදිරිපිටය

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශ ප්‍රශාන්ත ජයකොඩි මහතා සිය මූලික කරුණු පැහැදිලි කිරීමේදී මෙසේ පැවසීය.
" පසුගිය නොවැම්බර් පළමු දින පාර්ලිමේන්තුවේ කටයුතු නිමවීමෙන් පසුව හවස එහි සභාගර්භය පිරිසිදු කිරීමේ නිරතව සිටි සුලු සේවකයෙකුට මෙම කාන්තා මළ සිරුර හමු වුණා.ඔහු සහ පාර්ලිමේන්තු ආරක්ෂක නිලධාරීන් විසින් කරන දැනුම් දීමකට මූලික  පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් මූලික පරීක්ෂණ කටයුතු සිදු කළා.
මරණ පරීක්ෂණ වාර්තාවත් චොහාරික වාර්තාවනුත් අනුව මෙම කාන්තාව ඝාතනය වී ඇත්තේ නොවැම්බර් මස පළමු දින උදේ 10.17 ට ආසන්න කාලයකදීයි. ඇය මරණයට පත්වීමට පෙර දූෂණයකට ලක්වී ඇති බව පරීක්ෂණ වාර්තාවන්හි දැක්වෙනවා. මෙම කාන්තාවගේ දෑස් රෙදිපටයකින් බැඳ තිබූ අතර ඇයගේ එක් අතක තරාදියක්ද අනෙක් අතේ කඩුවක් හෝ එවැනි  විශාල තියුණු කැපෙන ආයුධයක් තිබුනා.

පසුව ජනමාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පොලිස් මාධ්‍ය පරීක්ෂක වරයා විසින් පිළිතුරු දුන් අතර එම ප්‍රශ්න සහ මාධ්‍ය ප්‍රකාශක විසින් ලබාදුන් පිලිතුරු පහත දැක්වේ.

ජනමාධ්‍යය - මෙම මරණයට පත් කාන්තාවගේ අනන්‍යතාව තහවුරු කරගැනිමට පොලිසිය සමත් වී තිබෙනවාද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක- නැහැ. නමුත් අපට දැනටලැබී ඇති සාක්ෂි අනුව ඉක්මණින්ම මියගිය කාන්තාව කවුදැයි හඳුනාගැනීම හැකිවේ යැයි අප සිතනවා.සමහර විට ඇය මාළු වෙළඳාමේ නිරතව සිටි තැනැත්තියක් විය හැකියි. 

ජනමාධ්‍යය- ඔබ එහෙම කියන්නේ ඇයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක- මා ඔබට මුලිනුත් පැවසුවා ඇයගේ මළ සිරුර අසළ තරාදියක් සහ තියුණු කැපෙන පිහියක් වැනි ආයුධයක් තිබූ බව. තරාදියක් සහ එවැනි පිහිවැනි දේ ළඟ තබාගෙන සිටින්නේ සාමාන්‍යයෙන් මාළු වෙළඳාමේ නිරතවන කාන්තාවන් නේද?

ජනමාධ්‍ය- නමුත් අපට තොරතුරු ලැබී තියෙනවා මේ මරා දමා ඇත්තේ මීට වසර ගණනාවකට පෙර කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යාමෙන් පසු මේ රටින් අතුරුදන් වූ කාන්තාවක් බවට. ඒ ගැන ඔබට යමක් කිව හැකිද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක- එවැනි පැහැරගැනීමක් හෝ අතුරුදන් කිරීමක් ගැන අප වෙත කිසිවෙකු විසින් හෝ පැමිණිලි කර  නැහැ. යමෙකු සතුව එවැන් සිදුවීමක් ගැන තොරතුරු තියෙනවානම් පළමුව විධිමත් පැමිණිල්ලක් කර එම තොරතුරු අපවෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

ජනමාධ්‍ය- දැනට මෙම ඝාතනය ගැන කිසිවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවාද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක-  නැහැ! ඔබ සියලු දෙනාම දන්නවා මේ පාර්ලිමේන්තු ගොඩනැගිලි පරිශ්‍රය තුළ සහ ඒ අවට නිතරම නමගිය අපරාධකරුවන්, ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන් , කුඩුජාවාරම්කරුවන්, මංකොල්ලකරුවන් සහ හොරුන් සහ පාතාල කල්ලි  නිතර විශාල වශයෙන් ගැවසෙන ස්ථානයක් බව. ඒ නිසා  පැහැදිලි විද්‍යාත්මක  සාක්ෂි මත පදනම්ව මිසක්  විශේෂයෙන් යමෙකු සැක කර අත්අඩංගුවට ගැනීම අපහසුයි.  තවමත් චෝහාරික පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතිනවා. මළ සිරුර හා අපරාධය සිදු වූ ස්ථානයේ තිබී හමු වූ මිනිස් රුධිරය, ශුක්‍රාණු, කෙළ, රෝම, හිසකේ සාම්පලවල  DNA පරීක්ෂණ වාර්තා ‍කොටසක්  දැනටමත් ලැබී තිබෙනවා. ඒ අනුව නිශ්චිත වශයෙන්ම කිවහැකියි පාර්ලිමේන්තු සභාගර්භය තුළදී සිදු ඇති  මෙම අපරාධයට අඩුතරමින් පුද්ගලයන් 117ක්වත් සහභාගි වී ඇති බව. මෙම ප්‍රමාණය මීට වඩා බොහෝ සෙයින් වැඩි වීමට ද ඉඩ තිබෙනවා. 


ජනමාධ්‍ය- ඇගේ මරණය සිදුව ඇත්තේ කෙසේද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක-  ඇය දීර්ඝකාලයක් රඳවා තබාගෙන වධබන්ධනයන්ට ලක් කර ඇති බවට පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.රෙදි පටියකින් හෝ සාටකයකින් වැනි දෙයකින් ගෙල සිරකිරීමක් සහ තියුණු සහ මොට අවිවලින් පහර දීම් මෙන්ම වෙඩි උණ්ඩවලින්  අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදු ව ඇති බරපතල හානිද   අධික රුධිර වහනය ද මෙම මරණයට හේතු වී ඇති බව කියන්න පුළුවන්.

ජනමාධ්‍ය- ඔබ පැවසුවා සාටකයක් හෝ රෙදි පටියක් වැනි දෙයකින් සිරකිරීමක් සිදුව ඇති බව. මිනී මැරුම සිදු වූ ස්ථානයේ තිබී ඔබේ ප්‍රකාශය සනාථකිරීමට සාක්ෂි හමුවුනාද විශේෂයෙන් සාටක වැනි දේවල්....?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක- අපොයි ඔව්. සාටක නම් එකක් නෙවි කීපයක් හමු වුණා.  සේරොම කුණු ලේ පාට එහෙම නැත්නම් කුරහන් පාට! 

මාධ්‍ය සාකච්ඡාව අවසානයේදී මෙම මළ සිරුර හඳුනාගැනීම සඳහා සහායවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඡායාරූප කීපයක්ද ජනමාධ්‍ය වෙත නිකුත් කළේය.  එම ඡායාරූප මෙම ප්‍රවෘත්තියේ මුල පළ කර ඇත.

1 comment: